Friday 30 September 2011

සංවේගයෙන් දැනුම් දෙමි.....

බ්ලොග් අවකාශයෙන් අප හඳුනාගත්, බ්ලොග් එකක් නොකෙරුවත්, කොමෙන්ට් වලින් අප හා දැනුම විනෝදය බෙදාගත් බුරා හෙවත් බුරතිනෝ ගේ පියාණන් අභාවප්ප්‍රාප්ත වී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි.
බුරා ගේ පියාට නිවන් සුව!
බුරා, මේ අසීරු මොහොත දරාගන්නට අවශ්‍ය ශක්තිය ධ්‍ය්ර්ය නුඹට ලැබේවා!

"නොගොස් එන්නට බැරිය 
නෑවිත් යන්නට බැරිය
මෙලොව ඇත්තේ යාම් සහ ඒම් ය........"
                                          -මලගිය ඇත්තෝ 

Tuesday 27 September 2011

බස්තියන්ගෙ සොහොන, තුන් යහළු වික්‍රමය සහ තවත් කතා සමගින් පරණ මතක.....

මේ සාහිත්‍ය මාසෙනෙ. ඉතින් හැමෝම පොත් ගැන ලියනව. ඉතින් සාහිත්‍ය මාසෙ ඉවර වෙන්න දවසක් හරි තියල මගේ සත දෙකත් ඕකට දැම්මෙ නැත්තන් නිකන් හරි නෑ වගේ. මගේ කියවීමේ ජීවිතේ බොහොම ආසාවෙන් කියවපු ගොඩක් ලේඛකයො ඉන්නව. පොඩි කාලෙ නං පොත පත කියෙව්වෙ හුදු විනෝදෙට. තුන් යහලු වික්‍රමය, බස්තියන්ගේ සොහොන, කල්ලන්දුවේ මුතු කොල්ලය, සෝමපුර වීරයෝ වගේ කතා මම හිතන්නෙ අපි කාටවත් ජිවිතේ අමතක නොවෙන පොත්. ඊට පස්සෙ පරිවර්තන කියවන්න හුරු උනා. කේ.ජි කරුණාතිලක මහත්මයට පින්සිද්ද වෙන්න එඩ්ගර් රයිස් බරෝස් ගේ ටාර්සන් කතා මාලාව මම පිස්සුවෙන් වගේ කියෙව්ව. ඒ කාලෙ ඒව කඩ්ඩෙන් කියවන්ඩ ගියා නං එහෙම කියවන එක නවත්තල ගොඩක් කල්! මම මුලින්ම පරිවර්තනයක් කියෙව්වෙ 'හඬනු මැන නිදහස' කියල සුනිල් මාධව ප්‍රේමතිලක සිංහලට පරිවර්තනය කරපු Cry Freedom කියන පොත. අම්ම ඔෆිස් එකේ පුස්තකාලෙන් මටයි තාත්තටයි පොත් ගෙනල්ල, මගේ පොත් ටික මට දීල, ඔය පොත අරන් තිබ්බ 'මේක එහෙම ඔයා කියවන්නෙ නෑ' කියල. ඒක අහපු වෙලේ ඉඳන් ඕක කියවනකන් නින්ද ගියේ නෑ. අම්මල ගෙදර නැතිවෙන වෙලාවක් බලල ඕක අරන් කියෙව්ව සම්පුර්නෙන්ම. මෙලෝ මගුලක් තේරුනේ නෑ. මොකද මම එතකොට පහ වසරෙ! කව්දෝ මනුස්සයෙක් ව නිවාස අඩස්සියේ තියපු එකක් ගැන කතාවක් කියල විතරයි ඔලුවට ගියෙ. ඔය පොත දකුණු අප්‍රිකාවෙ වර්ණභේද වාදය ගැන ලියවිච්ච පොතක්. සැබෑ සිද්දියක් ඇසුරෙන් ලියඋන එකක්. 

මගේ කවදත් ආසාව තිබ්බේ වීර වික්‍රමාන්විත, ත්‍රාසජනක කතා තියෙන පොත් වලට. ටාසන් කතා මාලාවට මම දැඩිව ඇලුම් කලේ එකයි කියල හිතෙනව. Treasure Island , king solomon's mine's, Around the world in 80 days , Twenty thousand leagues under the sea වගේ කතා බොහොම අසාවෙන් කියෙව්ව. ඕව ඔක්කොගෙම පරිවර්තන කියෙව්වෙ. සමහර ඒව සඟරා වල කොටස් වශයෙන් ඒ දවස් වල ගියා. මුලින්ම ඉංග්‍රීසි පොතක් මුල ඉඳන් අගට කියෙව්වෙ A tale of two cities එකේ සංක්ෂිප්ත මුද්‍රණය. ඉංගිරිසියෙන් කතා කියවන්න පෙළඹුනේ ඉස්කෝලේ මගේ එහා පැත්තෙ හිටපු එකා ලොකු ලොකු කඩු පොත් ගෙනත් පන්තියේ කියවන්න ගත්තම. මම කොහොමද ඌට සෙකන්ඩ් වෙන්නෙ? මට හොඳට මතකයි පොත් ප්‍රදර්ශනයකින් තාත්තත් එක්ක ගිහින් ගත්ත තරමක් ලොකු ඉංග්‍රීසි නවල් එකක්. ගෙදර ගෙනත් මලලසේකර ඩික්ෂනරියත් ළඟ තියන් දුන්න ඇට්ටි හැලෙන්න. පොතට වඩා බැලුවෙ ඩික්ෂනරිය. ඒක මට මතක විදිහට Sin Bin කියල ටීන් නවල් එකක්. එක ඉවර වෙනකන් කියෙව්වෙ නෑ. ඔන්න ඊට පස්සෙ ඉන්ග්ලිෂ් ටීන් නවල්ස් කියවන්න උණක් ආව. ඇත්තටම කිව්වොත් අපේ පංතියේ ගොඩක් එවුන්ට Hardy Boys උණ හැදුන. ඔකේ තියෙන්නේ Hardy කියන වාසගම තියෙන ඇමරිකාවේ නව යොවුන් වියේ ඉන්න අයිය මලෝ දෙන්නෙකුගෙ රජ වැඩ කිඩ. මම හිතන්නෙ අපි එතකොට අට වසරෙ විතර ඇති. Hardy Boys එකේ සිරිස් දෙකක් තිබ්බ. Adventure සිරිස් එකයි. Case Files සිරිස් එකයි. ඔය දෙකේ වෙන වෙනම නොම්මර දාල පොත් තිබ්බෙ. ඉතින් අපි පන්තියට ඇවිත් පම්පෝරි ගහනවා මම අහවල් නම්බර් එක වෙනකන් ඔක්කොම පොත් කියවල ඉවරයි කියල. මට මතක විදිහට Nancy Drew එහෙමත් එහෙන් මෙහෙන් කියෙව්ව. හැබැයි ප්‍රසිද්දියේ නෙවෙයි. මොකද ඒකත් Hardy Boys වගේ එකක්. හැබැයි කතා නායිකාව කෙල්ලෙක්. ඉතින් ඒක කෙල්ලොන්ට තියෙන පොතක්. තාම ළමයි මේ පොත් කියවනවද දන්නෑ.

ඕකත් එක්ක සමගාමීව තිබ්බ අනික් උණ තමා විද්‍යා ප්‍රබන්ධ සහ රහස් පරීක්ෂක කතා කියවිල්ල. රහස් පරීක්ෂක කතා කිව්වොත් ඉතින් ෂර්ලොක් හෝම්ස් ට ගහන්න පුළුවන් ජගතෙක් මට තාම හම්බෙලා නෑ ( අගතා ක්‍රිස්ටිගේ කතා වල මට සර් ආතර් කොනන් ඩොයිල් ගේ තරං ගතියක් නෑ). විද්‍යා ප්‍රබන්ධ වැඩි හරියක් කියෙව්වෙ ආතර් සි ක්ලාක් මහත්මයගේ පොත් තමයි. මොන හේතුවක් නිසාද මන්ද මට රුසියන් සාහිත්‍ය අල්ලල ගියෙ නෑ. ඒකෙ තිබ්බෙ ත්‍රාසය, වීර කමට වඩා ගැඹුරින් මිනිස් චර්යාවන් විනිවිද දැකපු පොත් නිසාද දන්නෑ. මම ගෝර්කි, ටෝල්ස්ටෝයි, ෆ්‍රාන්ස් කෆ්කා (ජර්මානු) වගේ අයගේ කතා කියෙව්වත් කවදාවත් මට අමතක නොවෙන කතා පොත් වලට ඒව ගන්න බෑ. ක්ලැසික් නවල්ස් වලින් මට අමතකම නොවන එක ඇලෙක්සැන්ඩර් ඩුමා ගේ Three Musketeers. සමහර සීන් වලට හිනා වෙලා ඉල ඇදෙනව. ඩුමා ගැන අහල නැති කෙනෙක් ඉන්නව නං, ඔහු තමයි මොන්ත ක්රිස්තෝ සිටුවරයා, යවෙස් ලු මිනිසා වැනි කතා පොත් වල කතුවරය.

මට එතෙක් මෙතෙක් හමු උණ අපේ කාලයේ කතුවරුන් අතරින් මම කැමතිම කතුවරය මට හම්බ උනේ උසස් පෙළ කරන කාලෙදි. ඒ මම කලින් ලිපියකත් කියපු මයිකල් ක්‍රයිටන්. ඔහුගෙ පොත් වල විශේෂත්වයක් වෙන්නෙ කතාවට අමතරව මොනවහරි විෂයක් ගැන සැහෙන්ඩ ඉගෙන ගන්න හම්බවෙන එක. ඔහුගෙ කතා ගැන මෙහෙම කියන්න බෑ. ඒකට දවසක වෙනම පොස්ට් එකක් ලියනව. උසස්පෙළ කාලෙ වෙද්දී ඇත්තටම පොත් කියවන්න වෙලාවක් තිබ්බෙ නෑ. මගේ ජීවිතේ පලවෙනි සහ අන්තිම වතාවට සුකුරුත්තන් ආදර කතා පොතක් කියෙව්වෙ උසස් පෙළ කරන කාලෙදි. ඒ දිනේෂ් කොළඹගේ ලියපු 'සුළඟ වගේ ඇවිදින්' පොත. ඒ දවස් වල හිතට සමීප සබ්ජෙක්ට් එකක් ගැන ලියවිලා තිබ්බ නිසාත්, පොත ලියවිලා තිබ්බ පරිසරය සහ ඒකෙ තිබ්බ අත්දැකීම් අපි ඒකාලේ බොහොමයක් අත් විඳපු සහ අත් විඳිමින් හිටපු අත්දැකීම් නිසාත්, බොරු බොළඳ කවි වලින් පොත පිරිල තිබ්බෙ නැති නිසාත් ඒ කතාව අල්ලල ගියා. ලඟදි මට ඒ පොතේ pdf එකක් හම්බ උනාම අයෙම අතීතෙට ගියා වගේ උනා.

 
උසස්පෙළින් පස්සෙ කතා පොත් කියවන එක සැහෙන්ඩ අඩු උනා. ඊට පස්සෙ වැඩි හරියක් කියෙව්වෙ කළමනාකරණය හා සම්බන්ධ වෙච්ච පොත්. In search of excellence, Good to great, Built to last ඒ අතරින් විශේෂයි. තව ව්‍යාපාරික ලෝකයේ නමක් දිනාගත්තු සුවිශේෂී පුද්ගලයොන්ගෙ ජීවිත කතා කියවන්ඩත් ගත්ත. Virgin සමාගම් වල අයිතිකරු වන Sir Richard Branson ගෙ ජීවිත කතාව තමයි මගේ ප්‍රියතම කතාව. ඔහුගෙ පොතේ නම 'Losing my virginity'. ව්‍යාපාරික කන්‍යාභාවය නැති කරගනිමින්, 'කන්‍යාව' නමින් නම් කරපු තමන්ගෙ ව්‍යාපාරය ජාතන්තර මට්ටමට ගෙනියන හැටි ඒකෙ අපුරුවට විස්තර වෙනව. මම හිතන්නෙ ඔබට හෝ මට ඔහුට තරං ජීවිතයෙ කරදර වලට මුහුණ දෙන්න උනා නං, අපි සටන අත හැරලා ගොඩක් කල්. නමුත් තමන්ට එන බාධක ඉදිරියේ නොසැලී ඉස්සරහට යන්න ඔහුට තිබ්බ ධහිර්ය හිතාගන්න බැරි තරම්. ගොඩක් වෙලාවට ඔය වගේ ස්වයං චරිතාපදාන වල තියෙන්නෙ 'මම පොර' ජාතකේ. හැබැයි Sir Branson ගෙ පොතේ ඔහුට වැරදුනු තැන් පවා ඔහු කිසිම පැකිලීමක් නැතිව විස්තර කරනව.
පොත් ගැන කියද්දි, කියවන්ඩ ආසාවක් ඇති කරවපු දෙමව්පියන් සිහිපත් නොකර බෑ. ඉන්ටර්නෙට් තිබ්බෙ නැති අපි පොඩි කාලෙ, මට ඉන්ටර්නෙට් එක උනේ, නොවරදවා ගෙදරට ගෙනාපු මුතුහර, සිව්දෙස, සමුදුර වගේ සඟරා. රිඩර්ස් ඩයිජස්ට් කියවන්න තරං පුළුවන් කමක් නොතිබ්බ ඒ කාලෙ, එවයේ පරිවර්තන කියෙව්වෙ මුතුහර වගේ සඟරා වලින් තමයි.
අතීතේ ඉඳන් කියවපු පොත් පත් මතක් වෙද්දි ආයෙම අතීතෙට ගියා වගේ. තාමත් ඉස්සර කියවපු පොතක් දැක්කම හරියට පරණ යාලුවෙක් හම්බුනා වගේ හැගීමක් තමා දැනෙන්නෙ.


Image: http://usedbooksblog.com/blog/category/book-statistics/

Friday 16 September 2011

දුම්රියපලේදී හමුවූ ඇය...


උමං දුම්රිය ස්ථානයෙන් එලියට පැමිණි මම ප්‍රධාන දුම්රිය ස්ථානය කරා ඇදුනෙමි. මා නැගිය යුතු දුම්රියට තව පැයක පමණ කාලයක් ඇත. වෙලාව සවස් කාලය වූ බැවින් ප්‍රධාන දුම්රිය ස්ථානය අතුරු සිදුරු නැතිව පිරි ඇත. නා නා ප්‍රකාරයේ මිනිස්සු කඩි මුඩියේ එහෙ මෙහෙ දුවති. ශීත ඍතුව පැමිණීමට ඇත්තේ තව මාසයක් පමණ කාලයකි. එබැවින්දෝ දුම්රිය ස්ථානයේ විසල් දොරටු වලින් ඇතුලට හමා ආ සීත සුළඟ ඇතුලත සීත ගතිය දැඩි කලේය. මට මහත් බඩගින්නක් දැනුනි. අද උදේ පටන් හරි හමන් යමක් බඩට වැටුනේ නැත. ප්‍රශ්නය කෑම නැති කම නොව තියෙන ඒවා කන්නට අප්පිරිය වීමය. සීරියල් කෑම නං දැන් තිත්තය. නොයෙක් නොයෙක් වෙළඳ නාම. නොයෙක් නොයෙක් රස ඇති සිරියල් අරන් බැලුවද හිතට හරියන එකක් හම්බ උනේම නැත. පෑන් කේක්, වොෆල්ස් මට දැන් අරහන්ය. ජීවිත කාලෙම උදේට ලුණු ඇඹුල් ඇති, උණු උණු බතක් එළවලු ව්‍යංජන සමග කා පුරුදු මට සුද්දගේ රටේ පැණි රස, බඩට නොදැනෙන කෑම අල්ලන්නේ නැති වීම පුදුමයක් නොවේ. හීතල කිරෙන් පෙඟුනු සිරියල් බෝල් එක අරන් සීතලේ කන්නට සැරසෙන මට මතක් වෙන්නේ රතු හාලේ බතුත්, කරවල හොද්දත් ලුණු මිරිසකිනුත් සැදි දුම් දමන බත් පිගානකි. එහෙමත් නැත්තන් ඉඳි ආප්පත්, සැර පොල්සම්බලෙකුත්, පරිප්පු හොද්දකුත් ය. අවුරුද්ද දවසට කිරිබත්, මිරිසට ඉවූ මාළු හොදිත් සමග කන හැටි මට මතකයට නැගේ. ඒ රස දැනුදු මගේ රස නහර කම්පිත කරවයි. අලුත් අවුරුද්දට ගෙදර හිටි කාලයක් මතක නැත. ඊළඟ අවුරුද්දේවත් අලුත් අවුරුද්ද දවසට ලංකාවට යා යුතුය. කැවුම්, අති රස, අලුවා බඩ පැලෙනකන් කෑ හැක.
"Oops ! sorry ....I'm so sorry.."
මම නැවතත් පියවි ලොවට පැමිණියේ හදිස්සියේ දුවද්දී ඇඟේ හැපුණු කෙල්ලක සමාව ඉල්ලන හඬිනි.
"It 's ok ! No worries. "
මම මදහසක් පාමින් ඇයට කීවෙමි. කෝල සිනහවක් පෑ ඈ දුම්රිය වේදිකාවන් ඇති පැත්තට දිව ගියාය. ගෙදර කෑම සිහි වීමෙන් මගේ බඩගින්න තවත් වැඩියෙන් දැනෙන්නට විය.
මගී පර්යන්තයේ බොහෝ දෙනෙක් හිටගෙන උඩ බලාගෙන සිටිති. ඔවුන් බලා ඉන්නේ ඉහලින් සවිකොට ඇති පුළුල් තිර දෙසය. තමන් යාමට නියමිත දුම්රිය පිටත් වන වේදිකාව දර්ශනය වනතුරු ඔව්හු බලා සිටිති. මා යායුතු දුම්රියට තවමත් වේදිකාවක් ලැබී නොමැත. ඇරත් එය පිටත් වීමට තව බොහෝ වෙලාවක් ඇත. මම කන්නට යමක් ගැනීමට දුම්රියපල සිසාරා ඇවිදින්නට වීමි. දුම්රියපලක් වුවද ප්‍රධාන මද්‍යස්ථානයක් බැවින් මෙය ගුවන් තොටුපලකට ටිකක් සමානය. වෙනසකට ඇත්තේ නා නා විධ බදු රහිත සාප්පු වෙනුවට අවන්හල් සහ සුළු කෑම කඩවල් බහුල වීමයි. බඩ ගින්නට අනෙක් හේතුව දවල්ටත් හරි හැටි යමක් බඩට නොවැටිමයි. කාර්යාලයේ කැන්ටිමේ ඇත්තේ තම්බපු එළවලු, තැම්බූ අල, තැම්බූ මාළු වැනි දැය. අඩුම ගානේ ඒවාට ලුණු ටිකක්වත් දමා නැත. අවශ්‍ය පමණට දමාගන්නට ලුණු වෙනම තබා ඇත. එහෙත් එහෙම ලුණු දැමු විට උයන විට එක්කරන රසේ පළාතෙන් වත් නොයයි. " මචන් මුන්ගේ ලිප්වල තම්බන බට්න් එක විතරයි වැඩ කරනව ඇත්තෙ. " කාර්යාලයේ වැඩ කරන ලාංකික මිතුරෙකු වරක් පවසනු මට මතකය. නීරස තම්බපු අල වෙනුවට මම සීතල සැන්ඩ්විච් කෑල්ලක් කා සැනසුනෙමි. කාර්යාලයේ කැන්ටිම මතක් වෙද්දී මට නැගෙන්නේ තරහකි.

කන්නට යමක් ගන්නට සොයමින් මගේ දෙපා දුම්රිය පලේ සැරිසරන්නට විය. නා නා විධ කෑම ජාති, නොයෙක් නොයෙක් විදුලි ආලෝක මැද්දේ විසිතුරු විදුරු රාක්ක වල ප්‍රදර්ශනයට තබා ඇත. ඒවායේ පැහැයත්, සුවඳත්, අසුරා ඇති විදිහත් දකිද්දී කටට කෙල උනන්නේ නිතැනිනි. "යකෝ, කර දඬු දික් වෙලත් උඹේ තාම පොත්තට රැවටෙන කාලෙ ගිහින් නෑනෙ". ලස්සන කෙල්ලෙකු ගැන මා කියූ දෙයකට මිතුරෙකු මට කියූ වදනක් මට සිහිවේ. මේ කෑමත් ඒ කෙල්ලන් වගේ දෝ හෝ යි මට වරෙක සිතේ. ඒවායේ පෙනුමත් සුවඳත් අපුරුය. සමහර විටක, රසත් ඒ වගේ වන්නට ඇත. නමුත් ඒවා ලෙඩ වලට අතවනයි. තෙල් බේරෙන, චීස් පිරුණු නොයෙකුත් විසිතුරු අකාරයෙන් සැරසුණු කෑම දෙස බලමින් මම නැවතත් ඇවිද්දෙමි. දැන් නම් කුමක් හෝ ගත යුතුය. පැය දෙකහමාරක ගමනක් ඇති නිසා, ඊට පෙර කෑවොත් දුම්රියේ දී නිදා ගත හැක.

අවසානයේ හිත හදාගත් මම හිතට ඇල්ලු පේස්ට්‍රි වර්ග තුනකින් ඇනවුම් කලෙමි. මුදල් ගෙවා පාර්සලයත් රැගෙන මම වාඩි වන්නට තැනක් සෙව්වෙමි. මගී පර්යන්තය තවත් සෙනගින් පිරි ඇත. වාඩි වන්නට තැනක් ද නැත. දුම්රිය එනතෙක් හිටගෙන ඉන්නට සිදුවන සේය. මම අයිපොඩය සාක්කුවෙන් ගෙන සිංහල ප්ලේ ලිස්ට් එක තෙරුවෙමි. මෙසේ දුම්රියක් හෝ ගුවන් යානයක් එනතුරු බලා හිඳිද්දී, ගීත වලට සවන් දීමට මම කවදත් ප්‍රිය කරමි. ඉයර් ෆෝන් දෙක කනේ ගසාගත් මම ගීත වලට සවන් දෙමින් කෑම කන්නට පටන් ගතිමි. "තුක් විතරක්!". පලවෙනි කෑල්ල කද්දීම මට එසේ කිය උනේ නිතැනිනි. පෙස්ට්‍රියේ මෙලෝ රහක් නැත. ගානත් වැඩි නිසා, සහ පෙනුමත් හොඳ නිසා මා සිතුවේ එය රස ඇති කියාය. ඇත්තය, අපි හැමදාම පොත්තට රැවටෙන කොල්ලෝය. කෑමේ රස ගැන නොසිතා මම ගීතයටත්, අවට සිදුවන දේ ගැනත් සිත යොමු කරන්නට තැත් කලෙමි. " සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ ......" ගීතය මගේ සවන් පිනද්දී, මම දුම්රියපළේ හනි හනික යන ජේත්තු කාර ලියන් දෙස නෙත් හෙලුවෙමි. සමහරු, මෙලෝ සිහියක් නැතිව විකාරයෙන් මෙන් දුවති, තව සමහරු කිටි කිටියේ තද වූ කොට සායවල් නිසා ඈත් කරන්නට අමාරු දෙපා ළගින් ළගින් තියමින් උස අඩි සපත්තු වලින් අමාරුවෙන් ඇවිදිති. මේ සීතලේ කොටට ඇඳන් තව කොන්දත් කඩා ගන්නට යන හේතුව තේරුම් ගන්නනට මම තැත් කලෙමි.

මගේ සිරි නැරඹීම අවසන් වුයේ, කවුරුන් හෝ මගේ ළඟ සිටින බව දැනිමෙනි. මලු දෙකක් අත් දෙකින් උස්සා 
ගත් චීන කෙල්ලක් මගේ ළඟ සිටගෙන මට යමක් කීමට තැත් කරයි. මම වහා ඉයර් ෆෝන් දෙක ගැලෙව්වෙමි.
"Yes ?"
මා ඇසුවේ ඇය කොපමණ වෙලාවක් එසේ සිටින්නට ඇති දැයි සිතන ගමන්ය.
"Can you do me a help please?"
චීන උච්චාරණයකින් ඈ ඇසුවාය.
"Yeah, tell me"
මා එසේ ඇසුවේ ඇයට අවශ්‍ය උදව්ව කුමක් දැයි සිතෙන් නිශ්චය කරන්නට තැත් කරමිනි.
"Can you buy me a coffee?"
පාරක්, දුම්රියක් පිලිබඳ තොරතුරු ඇසීමක් බලාපොරොත්තු උන මම මෙයින් විපිළිසර වීමි.
"Sorry ?"
මා නැවත ඇසුවේ, මට ඉල්ලු දෙය වැරදියට ඇසුනේ නැති බවටත්, ඇති වූ විමතිය පහ කරගන්නටත්ය.
"Can you buy me a coffee please? From any of these shops is ok"
මම මොහොතකට ගොළු වීමි. මෙවර මම ඇය හොඳින් නිරීක්ෂණය කලෙමි. බැලූ බැල්මට ඇය සිගන්නියක සේ නොපෙනේ. ඇරත් සිගන්නන් ඉල්ලන්නේ සල්ලි හෝ, කෑම ගන්නට සල්ලිය. කෙලින්ම කෑම එකක් අරන් දෙන්නට කියන්නේ කලාතුරකිනි. එයත් කෑම කඩයක් කිට්ටුව නැති විටය. මක්නිසාදයත් එවිට සල්ලි දෙන බව දන්නා නිසාය. එහෙත් මැය ඊට වෙනස් ය. ඇගේ මුහුණේ තිබු විඩාබර බවත්, දෙනෙතේ තිබු ආයාචනයත්, අත් දෙකේ තිබුණු කඩමලු වලින් පිරි ඉරුනු මලු දෙකත්, එහෙත් ඇඳගෙන සිටි පැල්ලම් නොවැටුණු පිරිසිදු ගවුමත් මේ නම් ටිකකට කලින් මටත් දැනුනු මනුෂ්‍ය අවශ්‍යතාවය සපුරා ගන්නට මුදල් නැති නිසා ලැජ්ජාව පසෙකින් තබා කරන අවංක ඉල්ලීමක් බව මට සක්සුදක් සේ පැහැදිලි කළේය . කකා හිටි කෑම උගුරේ හිරවෙන්නට යද්දී මම අමාරුවෙන් වචන ගැට ගැසුවෙමි.
"Ok, come with me "
එතැන තිබු කඩයකට ගිය මම ඇයට කැමති කෝපි එකක් ඉල්ලන්නට කිව්වෙමි. එයට බිල ගෙවන අතරේ, ඇගේ දෑස් සාප්පුවේ වීදුරු රාක්ක වල තබා තිබු අනේක විද රස මසවුළු සිසාරා දිව යනු මම දුටුවෙමි.
"Would you like something to eat?"
මා ඇසුවේ එයට පිළිතුර දැනගෙනය. ඇය අවිහිංසක සිනහවක් පෑවා විනා කිසිත් නොකිවාය.
"Here, take this"
මම වෙනම ඇසුරුම් වල දමා තිබු, ටික වෙලාවකට කලින් මිලදී ගත් කෑම ඈට දෙමින් කීවෙමි.
"It's fresh, I just bought them from that shop"
ඇගේ මුහුණේ ඇති වූ ප්‍රීතිමත් සිනහව 
මගේ කුසගින්න නිවාලන්නට සමත් විය. කෝපි එකත්, කෑම පාර්සලයත් ගත් ඇය, මට ඉස්තුති කොට ඇගේ කිලිටි මලු දෙකත් ඔසවාගෙන යන්නට ගියාය. මම ඇය ඈතට යනතෙක් බලා සිටියෙමි. ඈ උදේට කුමක් කන්නට ඇත්ද? දහවලට කුමක් කන්නට ඇත්ද? හෙට කවුරුන් ඈට කෑම අරන් දෙනු ඇත්ද?
අනේක විධ ප්‍රශ්න මගේ පපුව හිර කරද්දී, මම දුම්රිය වේදිකාවට යන්නට හැරුනෙමි. ඈ කතා කලවිට ගැලවූ අයිපොඩයේ තාමත් ගීත වැයේ. මම ඉයර් ෆෝන් දෙක ගෙන නැවතත් කනේ ගසාගත්තෙමි.

"දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා "
"දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා "
කපුගේ ගේ හඬින් මගේ සවන් පිරි යන්නට විය.............


ප/ලි 
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි

image: http://www.dudleymall.co.uk/loclrail/birmcov.htm

Tuesday 13 September 2011

මචං මෙහෙත් ජුස් ල ඉන්නවනෙ..!!

අපි ගොඩ දෙනෙක් ඉස්සර ආසාවෙන් බලපු කොමඩි එකක් තමයි මම හිතන්නෙ 'Mind your language'. එක එක රටවල් වලට අයිති ශිෂ්‍යයො ටිකක් හවස පන්තියක ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි වෙන ඉල ඇදෙන සීන් තමයි ඕකෙ තිබ්බෙ. ජාතින් අතර තියෙන විවිධත්වය තුලින් හාස්‍ය රසය නියමෙට මතු කරපු වැඩසටහනක් තමයි ඒක. සමහර වෙලාවට වෙන රටවල් වලට ගියාම සංස්කෘතික, භාෂා වෙනස්කම් නිසා අහන්න දකින්න වෙන අත් දැකීම් ගොඩක් වෙලාවට ඔය වැඩසටහනේ වෙන වැඩ වගේ. ඕකෙ මට මතකයි චරිතයක් තිබ්බ 'සුලි' කියල චීන කෙල්ලෙක්. ඒ කෙල්ලට කොච්චර කරත් 'ර'යන්න කියන්න බෑ. ඒ වෙනුවට කියවෙන්නෙම 'ල'යන්න. මම හිතන්නෙ ජපානෙ අයටත් ඔය ලෙඩේ තියෙනව.

මට එක පාරක් රාජකාරි වැඩකට ඔය ඔලිඳ තියෙන දේශේට යන්ඩ උනා. පලවෙනි දවසේ මීටින් එකකට අපේ පාට්නර් කොම්පැනියෙන් ඇවිත් හිටිය සහිඩ් කියල පොරක්. මිනිහට එදා මීටීම මැද්දෙ යන්ඩ උනා. ඉතින් මම මීටීම ඉවර වෙලා පාට්නර් ගෙන් ඇවිත් හිටපු තව පොරකට කිව්වා 'Ask Zahid to come tomorrow ' කියල. මොකද පහු වෙනිද මීටිමට මිනිහ අත්‍යවශ්‍යම නිසා. ඒ පාර පොර මට කියනව " Mr. Jahid will come " කියල. මම මේ ජහිඩ් ව දන්නෙ නෑ. මම වැඩ කරල තියෙන්නෙ සහිඩ් එක්ක. අනික මිනිහ සීනියර් ලෙවෙල් මැනේජර් කෙනෙක්. ඉතින් මිනිහ මීටිමට ඉන්ඩම ඕනෙ. මම ආයෙ කිව්ව " No no I want Mr. Zahid to come . I don 't know Jahid " කියල. මු ආයෙම කියනව " No no Mr. Jahid will come ". කියල . දැන් මටත් මල! මම කියනව සහිඩ්ට එන්ඩ කියන්ඩ කියල, පොර කියනව ජහිඩ් එයි කියල. ටික වෙලාවකින් තමයි මට ප්‍රශ්නෙ මීටර් උනේ. මෙගොල්ලොන්ගේ උච්චාරණයේ Z අකුරක් නෑ. ඒ වෙනුවට තියෙන්නෙ J. හරියට අර සුලි ගේ ලයන්න වගේ! කොටින්ම ඒ රටේ සහිඩ් ල නෑ, ඉන්නෙ ජහිඩ් ල. සිග් සැග් මැෂින් නෑ , තියෙන්නෙ ජිග් ජැග් මැෂින්! සත්තයි! තව එතකොට zip ෆයිල් නෑ. තියෙන්නෙ ජිප් ෆයිල්! ඔය උච්චාරණ නිසා මීටින් මැද්දෙ හිනාව තද කරගන්ඩ ගිහින් හුස්ම හිර උන වාර අනන්තයි.

දැන් ඔය ඔලිඳ තියෙන දේශේ මුස්ලිම් රටක් නෙ. වෙන වෙන ජාතිනුත් ඉන්නව. නමුත් වැඩිය ඉන්නෙ මුස්ලිම් අය. දැන් ඔය මුස්ලිම් අයයි, යුදෙව් ජාතිකයොයි අතර එච්චර ඇයි හොඳය්යක් නෑනෙ. දවසක් වැඩ ඉවර වෙලා මමයි තව යාළුවෙකුයි ඒ රටේ කස්ටමර් ගේ කොම්පැනියෙ මැනේජර් කෙනෙක් එක්ක පොරගෙ වාහනේ එනව. එන ගමන් මිනිහ ඉතින් හෝ ගාල විස්තර කියවනව. මගදී මිනිහ කියපි " My house is also on this road. Actually it is very close to our national Jew " කියල. 
මම එතකොටයි දන්නෙ ඒ රටේ යුදෙව්වොත් ඉන්නව කියල. සාමාන්යෙන් යුදෙව්වන්ගේ ආගමික මධ්‍යස්ථානයට කියන්නෙ සෙනගොග් කියල. නමුත් ඉතින් මේ ගොල්ලොන්ගේ ඉංග්‍රීසි දන්නා නිසා මේ කිව්වේ රටේ තියෙන යුදෙව්වන්ගේ ප්‍රධාන පල්ලිය ගැන බව හිතාගන්න මට අමාරු උනේ නෑ. මම හැබයි පොරගෙන් යුදෙව්වො ගැන ප්‍රශ්න අහන්න ගියෙ නෑ. මොකෝ පොර කොහොම ගනියි ද කියල දන්නෙ නැති නිසා. පොර ඉතින් මාවයි යාළුවයි හෝටලෙන් දාල ගියා. මම තාම කල්පනා කරනව අපි ලෝකේ රටවල් ගැන දන්නෙ කොච්චර පොඩ්ඩද, ඒ පොඩ්ඩත් කොච්චර වැරදිද කියල. ඉතින් මම ඇතුලට යන ගමන් යාලුවට කිව්ව "මචන් මෙහෙ ජුස් ල ඉන්නව කියල මම දැනන් හිටියෙ නෑනෙ" කියල.
මිනිහත් පුදුමෙන් වගේ මගේ දිහා බැලුව.
"උඹට කව්ද කිව්වෙ මෙහෙ ජුස් ල ඉන්නව කියල?"
"ඇයි බන් දැන් අරු එන ගමන් කිව්වෙ. My house is close to the national jew කියල. ඌ කිව්වෙ මේන් සෙනගොග් එක ගැන මගේ හිතේ"
"උඹට පිස්සුද බන් ?" ඒ පාර මගේ යාලුව බඩ අල්ලන් හිනා වෙනව....!!
"මොකෝ බොල හිනාවෙන්නෙ..!!??? "
"යකෝ ජූ කියල ඌ කිව්වෙ සූ! සූ!. Zoo එකට!! "

බලද්දි මේ යකා ඉන්නෙ සත්තු වත්ත එහා පැත්තෙ!




image: http://www.waterstones.com/waterstonesweb/products/francoise+pascal/mind+your+language+-+please21/8140030/

Thursday 1 September 2011

ඉතිහාසයේ දරුණුතම මුහුදු කොල්ලකාරයා හෙවත් කළු රැවුලා..


පොඩි කාලෙ ඉඳන් කියවපු පොත් වල, එහෙමත් නැත්තන් බලපු චිත්‍රපටි වල එක එක විදිහේ මුහුදු කොල්ලකාරයන්ගේ චරිත අපිට හම්බවෙනව. මට මෑතකදිම හම්බ උන ඒවගේ චරිතය, මයිකල් ක්‍රයිටන් ( ජුරාසික් පාක් පොතේ කතුවරය ) ලියපු Pirate Latitudes පොතේ එන චාල්ස් හන්ටර්. හැබැයි ඔහු නියම මුහුදු කොල්ලකාර චරිතයක්ම නෙවෙයි. මේ දවස් වල හැමෝගෙම ප්‍රියතම කොල්ලකාරය ඉතින් ජැක් ස්පැරෝ නෙ. ඒත් එදත් අදත් මුහුදු කොල්ලකාරයන් ගැන කියවෙද්දී මට මතකයට එන චරිතය තමයි ට්‍රෙෂර් අයිලන්ඩ් පොතේ හිටපු ලෝන්ග් ජෝන් සිල්වර්. ඇත්තෙන්ම ඊට පස්සේ කාලෙක මුහුදු කොල්ලකාර චරිතවල බාහිර පෙනුම ආභාසයට අරන් තිබුනේ ලෝන්ග් ජෝන් සිල්වර් ගේ පෙනුම. නමුත් මේ හැම එකක්ම ප්‍රබන්ද චරිත. 
මේ චරිත වලට වස්තු බීජය වෙච්ච, ලෝකේ ප්‍රධාන මූදු මාර්ග, වරායවල් සහ නාවික හමුදාවන් පවා භීතියට පත් කරපු එක් සැබෑ මුහුදු කොල්ලකාරයෙක් හිටිය. ඔහු තමයි 'බ්ලැක් බියර්ඩ්' හෙවත් 'කළු රැවුලා'.බ්ලැක් බියර්ඩ් ගේ ඇත්ත නම මොකද්ද කියන එක කවුරුවත් දන්නේ නෑ. මොකෝ ඇත්ත නම් කියල මංකොල්ලකන්නේ නෑනෙ. නමුත් ගොඩක් පිළිගන්න විදිහට ඔහුගේ ඇත්ත නම එඩ්වඩ් ටීච්. ඉපදිලා තියෙන්නේ එංගලන්තේ බ්‍රිස්ටල් නගරයේ. 1600 ගණන් වල අගභාගයේ ඉපදුනු බ්ලැක් බියර්ඩ්, මුලින් ම රැකියාව පටන් අරගෙන තිබ්බෙ Privateer කෙනෙක් විදිහට. Privateer කියන්නෙත් Pirate කෙනෙක් තමයි. හැබැයි වෙනසකට තියෙන්නෙ Privateer කෙනෙක් කියන්නෙ කොල්ලකන්න ලයිසන් තියෙන කොල්ලකාරයෙක්. වෙනත් වචනවලින් කිව්වොත් කුලී හේවායෙක්. 
ඒ දවස් වල ඔය ප්‍රන්ශේ, එංගලන්තේ, ස්පාඥඥය වගේ රටවල්, තමන්ගේ කොලනි ව්‍යාප්ත කරගන්න වලි කෑවනේ. ඒ දවස් වල ඉතින් ඔය රටවල් අතර යුද්ධ ඇති වෙනව. මේ වගේ යුද්ධ කාල වල සතුරු රටේ නැව් වලට පහර දෙන්න, ඒව කොල්ලකන්න කුලී නවිකයින්ව යොදා ගන්නව. 18 ශතවර්ෂයේ මුල් භාගයේ, ඇති වුන ප්‍රංශය සහ එංගලන්තය අතර යුද්ධයේ දී එඩ්වඩ් ටීච් Privateer කෙනෙක් විදිහට කටයුතු කරලා තියෙනව. නමුත් ප්‍රශ්නය පැන නගින්නෙ මේ යුද්ධය අවසාන වෙනවත් එක්කම. එංගලන්තය කරන්නෙ තමන් යටතේ හිටපු privateers ල ගේ සේවාවන් නවත්තනවා විතරක් නෙවෙයි 50, 000 විතර වෙච්ච තමන්ගේ නාවික හමුදාවත් 15, 000 කට විතර බස්සනව. ඉතින් යුද්ධෙ කාලේ වැඩ කරපු කුලී හේවායොන්ට රැකියා නැතුව යනව. ඉතින් මේ අය මොකද කරන්නෙ, යුද්ධය නැති උනත් තමන්ට පුරුදු රැකියාව දිගටම කරගෙන යනව. හැබැයි, දැන් ඔවුන් නීතියෙන් දඬුවම් ලැබියහැකි කොල්ලකාරයෝ. 
මේ කාලය වෙද්දි බහමාස් ආශ්‍රිත New Providence දූපත ආශ්‍රිතව මුහුදු කොල්ලකාර සමාජයක් ගොඩ නැගෙනව. එඩ්වඩ් ටීච් හෙවත් බ්ලැක් බියර්ඩ් තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරන්නෙත් ඔය දූපත ආශ්‍රිතව. උපතින්ම උත්තුංග දේහයක් සහ නායකත්ව ගති ලක්ෂණ තියෙන ටීච්, වැඩි කල් යන්න කලින් කුඩා සුලුප්පු (කුඩා රුවල් නැවක්) 2 ක් යොදා ගෙන කොල්ලකන්න පටන් ගන්නව. නමුත් තාමත් ඔහු එතරම් ප්‍රසිද්ද කොල්ලකාරයෙක් නෙවෙයි. ඔහුගේ නැගීම පටන් ගන්නේ 1717 නොවැම්බර් මාසේ දවසක. 
ඈතින් යන විශාල රුවල් නැවක් දකින ටීච් ඒ නැව ලුහු බඳින්න තමන්ගෙ සගයන්ට අනකරනව. ප්‍රමාණය හා හැඩය අනුව එය වහලුන් අරගෙන යන නෞකාවක්. මේ වගේ නෞකා හොඳට සන්නද්ධ සහ වේගයෙන් යාත්‍රා කරන්න පුළුවන් ඒව. ඉතින් ටීච් ගේ කණ්ඩායම ප්‍රශ්න කරනව ඒ වගේ නැවක් කොල්ලකන්න ගිහින් තමන්ට ඉල්ලගෙන කන්න වෙන එකක් නැද්ද කියල. නමුත් ටීච් ගේ අදහස වෙන්නෙ, මාස ගානක් මුහුදෙ ඉඳල නැවේ කළමනා සෑහෙන දුරට හිස් වෙලා, මිනිස්සු ලෙඩ හැදිලා හෝ මැරිලා බොහොම අසරණ තත්වයෙන් ඇත්තේ ඒක නිසා කොල්ලකන්න ලේසි වෙයි කියන එක. ටීච් ගේ අදහස හරි බවට ඒත්තු යන්නෙ ඔවුන් ඒ නැව අල්ලගත්තට පස්සෙ. වැඩි කරදරයකින් තොරවම, ගමන් විඩාවෙන්, ලෙඩ රෝග වලින්, ආතතියෙන් පෙළෙමින් සිටින ඒ නැවේ කාර්යමණ්ඩලය ටීච් ගේ කොල්ලකාර කණ්ඩායම යටත් කරගන්නව. ටීච් කියන්නෙ දරුණු මංකොල්ල කාරයෙක් කියල මම කලිනුත් කිව්වනෙ. තමන්ගෙ පෙනුම පවා දරුණු කරගන්න ටීච් සැහෙන උත්සහයක් දරනව. 
ඔහු නිතරම පිස්තෝල හතරක් ඉනේ ගහගෙන ඉන්නෙ. ඒ විතරක් නෙවෙයි, තොප්පියට ගිනි නූල් 4 ක් සවි කරල ඒවාට ගිනි දල්වනව. ටීච් ට බොහොම ගන, දිග කළු රැවුලකුත් තිබිල තියෙනව. ටිකක් හිතල බලන්න. උස මහත, මූණ පුරා කළු රැවුල වැවිච්ච, යකෙක් වගේ මිනිහෙක් ඔලුව වටේ පත්තුවෙන ගිනි නූල් හයි කරගෙන, පිස්තෝල රොත්තකුත් ඉනේ ගහගෙන එන දර්ශනය කොහොමද කියල. එක දවසක් ඔහු තමන්ගෙ නැවේ තවත් මිනිහෙකුට කිසිම හේතුවක් නැතුව දණහිසට වෙඩි තියනව. හේතුව ඇහුවම ඔහු කියන්නෙ, තමන් මේ වගේ වත් ඉඳල හිටලා කරේ නැත්තන් නැවේ එවුන්ට තමන් කව්ද කියල අමතක වෙයි කියල. ඉතින් අර නැවේ නැවියෝ විරෝධයක් නැතිවම යටත් වෙච්ච එක පුදුමයක් නෙවෙයි. බලද්දී ඒ නැව La Concorde කියල ප්‍රංශෙට අයිති නැවක්. කාලතුවක්කු වලින් සන්නද්ධ මේ නැව අත්පත් කරගන්න ටීච් ඇතුළු කොල්ලකරුවො, නැවේ කාර්යමණ්ඩලය තමන්ගෙ සුලුප්පුවක පටවල අරිනවා. 
ටීච් නැව අලුතෙන් නම් කරනව Queen Anne's Revenge කියල. ඔහු කුලී හේවායෙක් විදිහට සටන් කරපු Queen Anne 's War සිහිපත් වෙන්න එහෙම කරන්න ඇති. එඩ්වඩ් ටීච් හෙවත් බ්ලැක් බියර්ඩ් ගෙ නම කැරිබියන් දුපත් හරහා වැටුණු මුහුදු මාර්ග ඔස්සේ පැතිර යන්නේ විදුලි වේගෙන්. QAR නැවත්, තවත් සුලුප්පු කිහිපයකුත් යොදාගෙන ටීච් පොඩි මුහුදු කොල්ලකාර හමුදාවක් හදනව. නම ඇහුවත් නැවියන් බයෙන් සලිත වෙන ටීච් ඊට පස්සෙ ගොඩක් නැව් යටත් කරගන්නෙ කිසිම සටනක් නැතුව. මම හිතන විදිහට එඩ්වඩ් ටීච් කියන්නේ පසනල් බ්රැන්ඩින් හොඳට දැනගෙන හිටපු පොරක්. තමන්ගේ දරුණු කම රූපයෙන්, ක්‍රියාවෙන් පෙන්වල, ඒ ප්‍රසිද්දිය උපරිමයෙන් තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න ඔහු හැබෑ හපන් කමක් දක්වල තියෙනව. මෑත කාලෙ හිටපු අපි කවුරුත් දන්න ත්‍රස්තවාදියෙක් වෙන බින් ලාඩන්, කෙහෙල් ගහට කෙටුවේ ඇමරිකාවෙ වල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ගහලනෙ. 
ඒවගේ වැඩි කාලයක් යන්න කලින් එඩ්වඩ් ටිචුත් කෙහෙල් ගහකට කොටනව.ඒ 1718 මැයි මාසෙ. ටීච් ඇතුළු ඔහුගෙ මුහුදු කොල්ලකාර කණ්ඩායම, ඒ වෙනකොට එංගලන්තෙ කොලනියක්ව තිබු ඇමරිකාවෙ චාර්ල්ස්ටන් වරාය වටලනව. ඒක වටලල ඔවුන් යන එන හැම නැවක්ම කොල්ලකනව විතරක් නෙවෙයි, සමහර නැව් කප්පිත්තන්ව ප්‍රාණ ඇපකරුවන් වශයෙන් අරගෙන බෙහෙත් බඩු ඇතුළු නොයෙකුත් දේවල් වලට මේ ප්‍රාණ ඇපකරුවන්ව හුවමාරු කරනව. ටීච් ඇතුළු කොල්ලකාර කණ්ඩායමේ වැටලීම නිසා චාර්ල්ස්ටන් නගරයේ ආර්ථිකය බලා ඉද්දි කඩන් වැටෙනව. ඔවුන් නැවත ඔලුව උස්සන්නෙ ටීච් ට ඇති වෙලා ගියාට පස්සෙ. මේ සිද්දියත් එක්ක එංගලන්තෙ රජය දැනගන්නව තව දුරටත් ටීච් ට ඕන විදිහට නටන්න දුන්නොත් තමන්ට යන එන මං නැති වෙන බවට. ඔවුන් ටීච් ව අල්ලන්න බාර දෙනව ලුතිනන් මේනාර්ඩ් කියල නැවියෙකුට . ඔය චාර්ල්ස්ටන් සිද්දියෙන් පස්සෙ ටීච් ට තමන්ගේ Queen Anne 's Revenge නැව අහිමි වෙනව. ඒ ඒක වැලි පරයක ගැටීමෙන්. හැබැයි ඕක අනතුරක් ද, නැත්තන් ටීච් ඕන කමින් නැව මුහුදුබත් කරාද කියන ඒක අදටත් විවාද වෙන මාතෘකාවක්. ඒක ගැන වෙනම පෝස්ට් එකක් ලියන්ඩ පුළුවන්. 
කොහොමහරි මේනාර්ඩ් ට 1718 නොවැම්බර් මාසෙදි ටීච් ව කොටු කරගන්න හම්බවෙනව. දරුණු සටනකින් පස්සෙ මේ කොල්ලකාරයව සහ ඒ වෙනකොට සැහෙන්ඩ අඩු වෙලා හිටපු ඔහුගෙ කණ්ඩායම පරද්දන්න ලුතිනන් මේනාර්ඩ් ට හැකි වෙනව. මේ සටන අවසානෙ කළු රවුලා හෙවත් එඩ්වර්ඩ් ටීච් සදහටම දෙනෙත් පියාගන්නවා. හැබැයි ඒ කඩු පහරවල් විසි එකකුත්, වෙඩි උණ්ඩ පහකුත් දරාගත්තට පස්සෙ. මේ කොල්ලකාරයාගේ ශක්තිය හිතාගන්න මම හිතන්නේ ඒකම ඇති. ටීච් ව මැරුවට පස්සෙ ලුතිනන් මේනාර්ඩ් කරන්නෙ ඔහුගෙ බෙල්ල කපල තමන්ගෙ නැවේ ඉස්සරහ එල්ලල, සිරුර මුහුදට විසි කරනව. ජනප්‍රවාදයෙ තියෙන්නෙ ඔහුගෙ කවන්ධය දියේ ගිලෙන්න කලින් නැව වටේ කිහිප සැරයක් පීනුව කියල!!!!


Image: http://blunderingbuccaneer.com/?tag=blackbeard

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!