Tuesday 14 February 2012

පික්නික් එක!



"ඉක්මනට එන්නකෝ!"
"පොඩ්ඩක් ඉන්න. මම මේ ඔයාගේ බෑග් ටිකත් උස්සන් එන්න එපැයි"
"හප්පෝ මහ ලොකු පිරිමිය. ඕකවත් උස්සන් එන්න බැරිද?"
"මොනවද මේකෙ මෙච්චර තියෙන්නෙ?"
"එක එක දේවල්. මේ, මේ කැලේ සත්තු ඉන්නවද?"
"ඔයයි මමයි තමා ඉන්න ලොකුම සත්තු දෙන්න"
"අපි හොඳ වෙලාවට උදෙන් ආවෙ නේද? ගස් වල පිනි ඉර එළිය වැටිල දිලිසෙන ලස්සන..."
"හ්ම්ම්. spring එක නිසා ගස් වල කොලත් හරි ලස්සනයි නේ?"
"මම වගේද? හි හි..!"
"ඔයා ඊට වැඩිය ලස්සනයි!"
"පචයා..!!"
"පච කියන්නෙ තෑගි ගන්නද? ආ මේ,  මෙතනින් තව චුට්ටක් ඉස්සරහට යද්දී තමා අර දොළ පාර හම්බෙන්නෙ"
"ඔය සද්දෙ ඇහෙන්නෙ ඒකෙ නේද?"
"ඔව් ඔව්, දැන් ලඟයි."
"හානේ අර පේන්නෙ. ඔන්න මම දුවනව. ඉක්මනට එන්නකෝ"
"මේ කෙල්ලත් එක්ක බෑ අප්පා"
"ෂා මාර ලස්සනයි නේ. වතුර හරිම පැහැදිලියි. ඉර එලිය වැටිල දිලිසෙන ලස්සන! මේක ගැඹුරද?"
"නෑ වැඩිම උනොත් අඩි තුනක් විතර ඇති. ඒ උනාට අපි යන්න ඕනෙ දැන් ආපු පාරෙ උඩහට."
"මට අර මැද්දෙ තියෙන ගල් ටික උඩ වාඩි වෙන්න ඕනෙ."
"ඉතින් යන්න."
"මට බයයි. අනේ මාව එක්ක යන්නකෝ. මගේ හොඳ වස්ස නේ?"
"මොකා?"
"අනේ අනේ. එක්ක යන්නකෝ....."
"හප්පේ, එන්ඩ ඉතින්. කෝ අත දෙන්න. මගේ අත තදින් අල්ලගන්න."
"ඇති යන්තන් දැන්වත් අතින් ඇල්ලුව!"
"ඔයා ඉතින් ඔය මාව අවුස්සගන්න තමයි හොඳේ?"
"හි හි !"
"මාර සිරික්කිය මෙයාගෙ. කෝ ඔන්න මම අඩිය තියන තැන් වලට අඩිය තිය තිය එන්න. බලාගෙන ප්‍රවේසමෙන් වාඩි වෙන්න. ඔය ගල් ලිස්සනව."
"ම්ම් දැන් හරි. අපි වටේටම වතුර ගලාගෙන යන හැටි. හරිම ලස්සනයි නේ?"
"හ්ම්ම්."
"අර බලන්නකො අර මාළු. පාට පාට."
"බය නැතුව කකුල් වතුරට දාගෙන ඉන්න. මාළු කොටන්නෙ නෑ"
"ඒ උනාට මට බයයි. අර ඈතින් පේන කන්ද මොකද්ද?"
"දන්නෑ" 
"අපි දෙන්න ඒ කන්ද උඩ චුටි පැලක් හදන්, ලුනුයි බතුයි කකා ඉමු"
"ලුණු වැඩිය කන එක ඇඟට හොඳ නෑලු"
"මැට්ටා!!"
"අනික අපේ අම්ම පොඩි කාලෙ මට කියල තියෙනව ' පුතේ උඹ වැඩිය උඩ යන්ඩ හදන්ඩ එපා කියල'. ඒක නිසා මම වැඩිය ඔය උස තැන් වලට කැමති නෑ"
"ඔයත් එක්ක බෑ අනේ........මොකද්ද ඒ සද්දෙ?"
"මොකද්ද?"
"ඔය ඇහෙන්නෙ. මියුසික් එකක් වගේ."
"ආ ඔව්මයි."
"ඔයාගෙ ගාවින් එන්නෙ."
"මගේ?"
"ඔව්, ඔයාගෙ සාක්කුවෙන්! ඔයාගෙ ෆෝන් එක!!"
"ආ!!"
"ඔයාට කිව්වනෙ අනේ ඕක ඕෆ් කරන්න කියල."
"මට අමතක වෙලා"
"ඔයාට මම කියන කිසි දෙයක් මතක නෑ"
"ඉන්න මම ආන්සර් කරල බලන්න.........හෙලෝ?"
"හෙලෝ ????? හෙලෝ තමා!!! ඈ බොල පොලොස් කොට්ටෝරුවො, තෝ තාම නිදිද???!!!!"
"අප්පටසිරි!. අඩේ සොරි මචන්, නින්ද ගියා."
"මොකද බඩුවක් වත් හීනෙන් දැක්කද?  තව පැයකින් කෝච්චිය අද්දනව. ඉක්මනට වරෙන්. අපි පරක්කු උනානං බලන්න තිබ්බ මුගෙ දේශනාව."
"හරි හරි  මම ටාර් ගාල එන්නං!"

"Happy Valentine's Day!"

image: http://www.wunderground.com/blog/flclicker/comment.html?entrynum=91

Sunday 5 February 2012

පේරන්ට්ස් ඩේ!


පේරන්ට්ස් ඩේ කියන්නෙ ඉස්කෝලෙ යන දවස් වල ඇඟේ ලේ වතුර වෙන දවසක්. මොකද ඉතින් කොච්චර හංගන්න හැදුවත් කොහොමහරි ගෙදරින් ඕක දැනගන්නව. අනික ඒ දවස් වල පේරන්ට්ස් ඩේ එකට ගෙදරින් ආවේ නැත්තන් පස්සෙන් එලෝ එලෝ හොයනව මොකද ආවෙ නැත්තෙ කියල. ඒක නිසා ඕක මග අරින  එක  අමාරු වැඩක්. පොඩි පන්ති වල ඉද්දි හිතන් හිටියෙ මේ කරදරේ තියෙන්නෙ A / L වලට යනකන් විතරයි කියල. පස්සෙ බලද්දී ඒකට ගියහමත් ඉවර නෑ. දවසක් අපේ පොරකගේ තාත්ත ඇවිල්ල ඉස්කෝලෙට පේරන්ට්ස් ඩේ එක දවසේ. අපේ එකත් ඉතින් රාජ ආඳ. පොර පන්තියේ හිටපු දවස් ගානට වඩා ජ'පුර කැම්පස් එක ඇරලා තියෙනව මම හිතන්නෙ. ඉතින් දැන් තාත්ත පොරව එක්කගෙන ගියාලු ගුරුවරු ගාවට පුත්‍රයගෙ හොඳ නරක අහන්න. එහෙම කිව්වට දෙන්නම දන්නව මුගේ කියන්න තරං හොඳක් නැති විත්තිය. මුලින්ම ගිහින් තියෙන්නෙ ගණන් සර් ගාවට. පොරව දැක්ක ගමන් සර් කිව්වලු, ' හපෝ මෙයාගෙනං  ගන්න දෙයක් නෑ. කොයි වෙලාවෙත් පංතියෙ නෑ. මෙහෙම ගියොත් නං අනිවාර්යෙන් ෆේල් වෙනව කියල'. මොන තාත්තද කැමති තමාගෙ පුතා ගැන එහෙම අහගන්න?

තාත්ත මූණ දෙක කරන් මේකව ඇදන් ගිහින් ෆිසික්ස් සර් ගාවට. මොන, පොරත් කිව්වලු 'මෙයා නිතරම පීරියඩ් කට් කරනව. ඉගෙන ගන්න කිසි උනන්දුවක් නෑ. පොඩ්ඩක් තදින් ඉඳල මෙයාට වැඩ කරවන්න කියල.' අපේ පොරට දැන් කරගන්න දෙයක් නෑ. තාත්තට හොඳටම තද වෙලා. දැන් ඉතින් මොනවා කරන්නද. ඔන්න අන්තිමට කෙමිස්ට්‍රි සර් ගාවටත් ගිහින්. බලාපොරොත්තු නොවිච්ච දෙයක් උනේ එතෙන්දි. කෙමිස්ට්‍රි සර් අපේ ඩයල් එක දිහා බලල කිව්වලු. ' මෙයාගෙ වැඩ හොඳයි, හැබැයි ඉතින් තාම B එකක් වගේ ගන්න මට්ටමේ තමයි ඉන්නෙ. A එකක් ගන්න නං මීට වඩා මහන්සි වෙන්න වෙනව කියල.' අපේ එකාට සර්ට එවෙලෙම දණගහල වඳින්න හිතුනලු. ඔය ටිකත් අහගෙන තාත්ත දැන් තරහෙන් පුපුර පුපුර යනවලු ආයෙම ඔෆිස් එකට යන්න. යන ගමන් මූට හොඳටම බනිනවලු 'උඹලට අපි සල්ලි දීල උගන්නන්නෙ මෙහෙම කතා අහගන්නද කියල'. අපේ එකා කිව්වලු 'ඉතින් තාත්තෙ අර කෙමිස්ට්‍රි සර් කිව්වෙ තව ටිකක් මහන්සි උනොත් A එකක් ගන්න පුළුවන් කියල. අනික් සර් ල දෙන්න හැමෝටම කියන්නෙ ඔහොම තමයි. කෙමිස්ට්‍රි වලට A එකක් ගන්න එක අනික් දෙකටත් වඩා අමාරුයි' කියල. ඒක ඇහුව ගමන් තාත්ත යක්ශාවේස වෙලා වගේ නැවතිලා හැරුනලු මුගේ දිහාවට.
'උඹ හිතන්නෙ මම මැට්ටෙක් කියලද?? උඹ අනික් සර් ල දෙන්නගෙ පීරියඩ් වල නං ඉඳල හිටලා හරි පංතියෙ ඉඳල තියෙනව. හැබැයි කෙම්ස්ට්‍රි පීරියඩ් එකේ නං කවදාවත් ඉඳල නෑ!  A එකක් ගන්න? A නෙවෙයි ප්‍රතිපල ආපුවහම ගමටම දෙන්න පුළුවන් වෙයි ලයිට්!! '
දෙමව්පියො ඔය වයස පහු කලේ අපට කලින් කියන්නෙ  ඕක තමා!!!!!.       

තවත් දවසක්  ඔය  පේරන්ට්ස් ඩේ එකක් දවසක ඉස්කෝලෙ ඇරිල ඇවිත් මම බස් එකට නැග්ග ක්ලාස් යන්න. කට කපල සෙනග. අපේ ඉස්කෝලෙ එවුනුත් සෑහෙන්න හිටිය බස් එකේ. මම කලින් පොස්ට් එකක කියපු බෙයා ත් බස් එකේ ඉස්සරහට වෙන්න ඉන්නව මම දැක්ක. බස් එක ඇදලා ටික දුරක් යද්දි මට එහා පැත්තේ හිටපු අපේ එහා පන්තියක කොල්ලෙක් හයියෙන්  කෑ ගහල  බෙයා එක්ක කතාව.
' ඒ බෙයා, අද මම උඹේ තාත්තව දැක්ක.'
' ආ, ඔව් බන්, අර මගුල් මීටිමට ඇවිත් හිටිය. උඹ කොහොමද අපේ තාත්තව දන්නේ?'
'මම දැක්ක ගමන් අඳුනගත්ත බන්'
දැන් බස් එකේ ඔක්කොටොම ඇහෙන්න ඔහොම දෙබස ගිහින් නැවතුනා. ටික වෙලාවකින් මට එහා පැත්තෙ හිටපු එකා ආයෙ කට ඇරිය,
'ඒ බෙයා'
'ඇයි'
'උඹලගෙ තාත්ත උඹ වගේමනෙ බන්'
මේක අහපු බෙයාගෙ වක්කඩ වගේ කටට පන ආව. 
' ඈ යකෝ, අපේ තාත්ත මම වගේ නැතුව උඹ හිතුවද එහා ගෙදර එකා වගේ කියල??'
බස් එක එකම සිනා සාගරයයි!


මම කලිනුත් කිව්වනෙ ඒ ලෙවල් වලට ඇවිල්ලත් මේ පේරන්ට්ස් ඩේ කරුමෙ ඉවර උනේ නෑ කියල. ඔන්න ඉතින් අපි ඒ ලෙවල් වලට ආවට පස්සේ තිබ්බ පලවෙනි පේරන්ට්ස් ඩේ එක ආව. දැන් ඉතින් අපේ පන්තියෙත් අම්මල තාත්තල ඇවිල්ල වාඩි වෙලා ඉන්නව. අපිට එක එක විෂයන් උගන්නන ගුරු මන්ඩලෙත් ඉස්සරහට වෙලා ඉන්නව. අපේ පන්ති භාර ගුරුතුමා දැන් ඉතින් අම්මල තාත්තල ව අමතනව. සාමාන්යෙන් ඒ ලෙවල් සිලබස් එකයි, ඕ ලෙවල් සිලබස් එකයි අතර ලොකු ගැප් එකක් තියෙනවනෙ. ඉතින් ගොඩක් වෙලාවට ඕ ලෙවල් වලදී හොඳට වැඩ කර කර ඉන්න පොරවල් ඒ ලෙවල් වලට ආපුවහම ඇනගන්නව. ඉතින් අපේ සර් ඕක ගැන තමයි දැන් දේශනාව දෙන්නෙ. පොර කියනව ඕ ලෙවල් හොඳට කරා කියල තමන්ගෙ ළමය ඒ ලෙවල් නිකන් ම පාස් වෙයි කියල හිතන්න එපා, මේ දෙකේ සිලබස් වල ලොකු වෙනසක් තියෙනව, වැඩියෙන් මහන්සි වෙන්න වෙනව බ්ලා බ්ලා බ්ලා...... ඔය වෙලාවෙ තමා ඉස්සරහම පේලියෙ වාඩි වෙලා මේ කතාවට ඇහුන්කන් දීගෙන හිටපු අපේ තාත්තට ඕන්නැති ප්‍රශ්නයක් අහන්න හිතුනෙ!! ( එයාට හිතෙන්නෙම ඔය වගේ ඕන්නැති ප්‍රශ්න තමා!!)

' ඇයි ඉතින් ඉස්කෝලෙන් මේ ළමයින්ට විභාගයක් තියල, ලකුණු දෙන්නෙ නැත්තෙ? එතකොට ඒ ගොල්ලන්ටම පුලුවන්නෙ දැනගන්න තමන් ඉන්න මට්ටම මොකද්ද කියල'

මේක අහපු ගුරු මණ්ඩලේ තක්බීර් උනා!
ඒ ගොල්ලෝ විතරක් නෙවෙයි, අනික් දෙමව්පියොත් තක්බීර් උනා!
පන්තිය පිටිපස්සෙ හිටගෙන අනික් කොල්ලොත් එක්ක මේක අහගෙන හිටපු මමත් තක්බීර් උනා!
විභාගයක්  තිබ්බෙ නෑ කියල ගෙදරට කිව්ව කතාව මට අමතක වෙලානෙ තිබ්බෙ!!!

'අපි විභාගයක් තිබ්බනෙ' මුලින්ම කතා කලේ පන්ති භාර ගුරුතුමා
' මොකක්?' ඒ අපේ තාත්ත
'ඔව් ! අපි ලකුණුත් දුන්න. පුතා කිව්වෙ නැද්ද??'
ඊට පස්සෙ කතාව හරිම ශෝචනීයයි.

image:http://www.clipartoday.com/clipart/occupations/occupations/student_274598.html

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!